NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්

Share

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා තවදුරටත් එනම් ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරු අද(18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ වාර්තා කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදී ඇති බවයි.

සැකකරු සන්තකයේ තිබී සොයාගන්නා ලද භාණ්ඩ කිහිපයක් පරික්ෂා කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර තිබුණද  ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව රස පරීක්ෂකවරයා වෙත මේ පිළිබඳව සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එමෙන්ම පොලීසිය විසින් බාර දුන් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමේ ලිපියක්ද යොමු කළේය.

Read more

Local News