කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරනවා

Share

කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්ති මාලාව නොබෝ දිනකින් සමාජගත කිරිමත් සමඟ ඉදිරියේදී කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක ගොවි බැංකු භාරව කටයුතු කරන කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“දැන් කෘෂිකර්ම ප්‍රතිපත්තිය මත සැකසෙන නිවැරදි දත්ත එක්රැස් කිරීමේ වගකීම පැවරෙන්නේ කෘෂි පර්යේෂණ නිලධාරියාට ඒ අනුව තම වසම කලාපය තුළ වගා කරනු ලබන බෝග වර්ගය කුමක්ද, ගොවියා පසට යෙදු පොහොර ප්‍රමාණය පාංශු පරීක්ෂාව වගේම යොදා ගත් රසායනික ද්‍රව්‍ය මොනවාද යන්න ඉදිරියේදි ක්‍රමවත්ව සකසන්නේ කෘෂි පර්යේෂණ නිලධාරියා.

කොටින්ම කීවොත් දත්ත සමීක්ෂණය නිරීක්ෂණය කරනු ලබන්නේ ඔහුයි. ඒ අනුව ඔහුට ගැලපෙන නාමය ඉදිරියේදී ඔවුන්ගේ ද යෝජනාව අනුව තනතුරු නාමය වෙනස් කරනවා.

ඒ වගේම ඔවුන්ට අවශ්‍ය  තාක්ෂණික දැනුම අපි ලබා දෙනවා. වසම් මට්ටමින් නිවැරදි දත්ත සපයන්න නිලධාරීන්ට විදෙස් රටවල සංචාර ද අපි ලබා දෙනවා.

ඒ වගේම මේ වැටුප ඔවුන්ට ප්‍රමාණවත් මදි. ඉදිරියේදි වැටුප ද සංශෝධනය වෙන්න ඕනෑ. ඒ සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවා.

අපි දැනට හොයාගෙන තිබෙනවා ඒ ඒ දිස්ත්‍රික්ක අනුව වගා කළ යුතු බෝග මොනවාද අඩු කාලයකින් අස්වැන්න ලැබෙන බෝග, ධාන්‍ය වර්ග වගේම එළවළු. පලතුරු මොනවාද කියන එක අපි දැන් කළ සමීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම ඒ ඒ බෝග රටට අවශ්‍ය ප්‍රමාණය කොපමණ ද යන්න අපි හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කෘෂි පර්යේෂණ නිලධාරියාගේ ඉදිරි වගකීම වන්නේ ගොවියාව නිසි ආකාරයෙන් දැනුවත් කිරීමයි.

ඉදිරියේදී රටේ බෝගවල හිඟකමක් වගේම ප්‍රමාණයට වඩා වැඩියෙන් වගා කර ගොවියා අපහසුතාවයට පත් නොවිය යුතුයි. අපි දැක්කා ඇතැම් මාසවල මිරිස් ගිනි ගණන්.

ඒ වගේ වට්ටක්කා ඕනෑවටත් වැඩියි. කුණු වෙලා යනවා. මේ කෘෂිකාර්මික දත්ත එක් රැස් කිරීමත් සමඟ මේ දේ රටේ වෙන්න බෑ යැයි වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News