අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

Share

ත්‍රෛනිකායික මහා සංඝයා සමඟ සාකච්ඡා වාර කීපයකින් පසු ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පොසොන් උත්සවය සැමරීමට හැකි වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් රටට එක්වුණු අඳුරු පැල්ලම මකා දැමීමට හැකිවන්නේ සියලු දෙනාම සමඟිව කටයුතු කිරීමෙන් බවද අගමැතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී කල සම්පූර්ණ නිවේදනය පහතින් දැක‍්වෙයි.

“ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සමඟ කළ සාකච්ඡා වාර කීපයකින් පසු මම පසුගිය ජූනි 05 වෙනි දා ඔබ සැමගෙන් ඉල්ලා සිටියේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පෙර සිරිත් අනුව ඉතා ඉහළින් පොසොන් උත්සවය සමරන ලෙසයි.

ඒ අනුවම යමින් අපට පොසොන් උත්සවය ඉතා ඉහළින් සමරන්නට පුළුවන් වුණා. ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන් ද රට පුරා පැවැත්වුණා.

වෙනදා පොසොන් උත්සවයට මුල් තැනක් නොදෙන ප්‍රදේශවලත් පොසොන් උත්කර්ශවත් ලෙස සමරන අයුරු අප දුටුවා.

මෙවර පොසොන් උත්සවය සාර්ථක හා ඉහළ මට්ටමින් සැමරීමට සම්මාදම් වූ සියලු දෙනාටම අපි අපේ ස්තුතිය පළ කරනවා. මේ සම්බන්ධව අපේ මහා සංඝ රත්නය ලබා දුන් නායකත්වයට අපගේ ගෞරව නමස්කාරය හිමි වෙනවා.

ඒ වගේම රජයේ මැති ඇමතිවරු, නිලධාරීන්, ආරක්ෂ්ක අංශ, විදුහල්පතිවරු සහ පාසැල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන ආදියත් ලබා දුන් සහයෝගය අගය කරනවා.

ඒ වගේම රට පුරා ජනතාව කිසිදු භේදයකින් තොරව පොසොන් සැමරීමට එක් වුණා. ඔවුන් දැක්වූ භක්තිය සහ උද්යෝගය නිසා අපේ රට පිළිබඳව යහපත් චිත්‍රයක් ලෝකයටම දැක ගන්නට ලැබුණා. ඒ නිසා මේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා.

ඊළඟට ඇසල පෙරහැර සමය උදාවෙනවා. පෙරහැර උත්සවයත් අපි වෙනදාටත් වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතුයි.

ඒ පිළිබඳව මල්වතු – අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමගත්, දියවඩන නිලමේ තුමා සමගත් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ රටට එක්වුණු අඳුරු පැල්ලම මකා දමන්නට හැකි වෙන්නේ එක මවකගේ දරුවන් ලෙස සමගි සම්පන්නව එක්ව නැගී සිටීමෙන් පමණයි. ඒ උදාර අරමුණ වෙනුවෙන් අපි සැවොම අත්වැල් බැඳ ගනිමු.”

Read more

Local News