ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නසා ගන්නවා

Share

“ලිච්ඡවී රජදරුවන්ගේ උපදෙස් අනුවයි වැඩ කරන්නේ කියලා ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශ කරල තිබුණා. ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නසා ගන්නවා” යැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හඟුරන්කෙතදී  ප්‍රකාශ කළේය.

ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපට ඉතාම හොඳ බව කී ජනාධිපතිවරයා ලෝකයේ කිසිම රටක ලිච්ඡවී රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් නැති බවද කීවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරයේ අභිනව චෛත්‍යයේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ සහභාගි වෙමිනි.

ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා ඒ කියපු අය වැඩ කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුවයි කියලා.

ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නසා ගන්නවා. ලිච්ඡවී රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියලා කියනවා නම් මම හිතන්නේ ඒ ගැන ඔබ වහන්සේලා ඇතුළු මේ පින්වත් මවුපියන් උගත් දරුවන් දන්නවා ලිච්ඡවී රාජ්‍ය පාලනය සහ අද රාජ්‍ය පාලනය අතරේ තිබෙන වෙනස කොච්චර ද කියන එක. ඒ නිසා ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපිට ඉතාම හොඳයි. නමුත් අද ලිච්ඡවී රජ දරුවන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන රාජ්‍ය පාලනයක් ලෝකේ කොහේවත් නැහැ. එහෙම රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ක්‍රමයක් අපිටත් තියෙනවා නම් ඒක මේ රටේ විශාල වාසනාවක්. ඒ නිසා අද රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලදී සැමවිටම කටයුතු කරන්නට ඕනෑ. රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලයි මම විශ්වාස කරන්නේ” යැයිද ජනාධිපතිවරයා කීය.

Read more

Local News