ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් පාසල්වල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන්

Share

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් පාසල්වල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී තිබේ.

මත් ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරක ම ජුනි මස 26 වැනි දිනට යෙදී තිබේ.

එම දිනය තේමා කරගනිමින් ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ජුනි මස 23 දින සිට ජුලි 01 දින තෙක් සතිය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ කාල රාමුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සියලු පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, මද්‍යසාර හා දුම්වැටි භාවිතය සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කාලරාමුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු පාසල් ප්‍රධානීන් විසින් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව රැස් කර, අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකළ යුතු බවත්, අදාළ සතිය තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ වගකීමක් වන බවත්, මේ සම්බන්ධ ව සියලු ම රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ පිරිවෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ආදර්ශ පාඨයක් පාසලේ ප්‍රදර්ශනය කිරීම, පන්ති කාමර මට්ටමින් අදාළ සතිය තුළ එක් එක් දිනයන්ට අදාළ ව මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ව ආකල්පමය වෙනසක් ඇති කළ හැකි ආකාරයේ ආදර්ශ වාක්‍ය ප්‍රදර්ශනය කරවීම, පන්ති මට්ටමින් බිත්ති පුවත්පත් පවත්වාගෙන යාම, බාහිර දේශකවරයෙකු සම්බන්ධකරගනිමින් උදෑසන පාසල් රැස්වීමේ දී දේශනයක් පැවැත්වීම, මීට අමතර ව පාසල් මට්ටමින් සුදුසු නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව බලගැන්වීම ඒ අනුව සියලු පාසල් ප්‍රධානීන්ට පැවරෙයි.

Read more

Local News