ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට දුන් අවසරය අවලංගු කරයි

Share

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට විදෙස් ගතවීමට අධිකරණය විසින් ලබාදුන් අවසරය අවලංගු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණි කිරියාගම මෙනවිය සිදු කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මේ වන විට අධිකරණ භාරයේ ඇති ජෙෆ්රි ඇලෝසියස් මහතාගේ විදෙස් ගමන් බලපත්‍ර මුදා හරින ලෙස පසුගිය 13 වනදා නිකුත් කර තිබූ නියෝගය අවලංගු කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සැකකරු ජෙෆ්රි ඇලෝසියස් මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට එරෙහිව මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර ලබන මස මුල් දෙසතිය තුළ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගනු ඇති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය පෙන්වා දී ඇත.

එසේ තිබියදී සැකකරුට විදේස්ගත වීමට අවසර ලබාදුනහොත් ඔහු යලි දිවයිනට නොපැමිණ අධිකරණය මගහැර සිටීමේ අවධානමක් පවතින බව ඇය සඳහන් කර ඇත.

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති
ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට විදේශ ගතවීමට අධිකරණය මගින් දී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවනු ලැබුවේය

එහි සඳහන්ව ඇත්තේ මහබැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින ජෙෆ්රි ඇලෝසියස්ට ලබන මස පළමුවනදා සිට 11 වනදා දක්වා කාලය තුළ දියණියකගේ විවාහ උත්සවයකට සහභාගිවීම සඳහා විදෙස්ගතවීමට අධිකරණයෙන් අවසර ලබාදී ඇති බවයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථිර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින් එහි සැකකරු ලෙස නම් කර සිටින ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස්ගතවීම සඳහා ලබාදී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා සිය මෝසම මඟින් ඉල්ලා තිබුණි.

Read more

Local News