පාසල් නොගිය දරුවන් ගැන දැනගත් වහාම හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට බාධා නෑ

Share

පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම්, පෙළපොත් හා සුරක්ෂා රක්ෂණය පිරිනමමින් නිදහස් අධ්‍යාපනය අර්ථවත් කොට තිබෙන වකවානුවක පාසල් යායුතු වයසේ දරුවන් නිවෙස් හි සිටින බවට පළවන ජන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැඩි අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුට ම පාසල් අධ්‍යාපනය අනිවාර්ය කොට තිබෙන්නක් බව ගම් මට්ටමේ කටයුතු කරන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයෝ පවා දැන සිටිය යුතු සරල කරුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දරිද්‍රතාවය හෝ වෙනත් හේතු නිසා හෝ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීමට නොහැකි තත්ත්වයේ පසුවන මවුපියන් වෙතොත් ඔවුන් හඳුනා ගෙන අවශ්‍ය සුදුසු පියවර ගැනීම ගම්බද සේවය කරන නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් විය යුතු නොවේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

දිළිඳු ජනතාව වෙනුවෙන් සමාජ සත්කාරක සේවා ක්‍රියාත්මක කරන විට පවා මෙවැනි අසරණ පවුල් හඳුනා ගැනීමට නිලධාරීන් ට ඕනෑ තරම් අවස්ථා තිබෙන බවත් පවසන අමාත්‍යවරයා පාසල් නොයන දරුවන් කවුරුන්දැයි සැක හැර හඳුනා ගන්නේ නම් ඒ බැව් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීම මගින් ඔවුනට සුදුසු පාසලක් ලබාදීම සඳහා කටයුතු කිරීමේ හැකියාවක් තිබෙන බවත් පෙන්වා දුන්නේය.

Read more

Local News