පරිසරය රැකීමේ දී දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු නොකළ යුතු බව ජනපති කියයි

Share

පරිසරය රැක ගැනීමේ වැදගත්කම සියලූ දෙනා හඳුනාගෙන සිටින යුගයක එම වගකීම් ඉටුකිරිමේ දී කිසිවෙකු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු නොකළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

මතු පරපුර වෙනුවෙන් පරිසරයේ තුලිත පැවැත්ම තහවුරු කිරීමට රටේ වගකීම් දරන සියලූ දෙනා කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ රත්නපුර/ නිවිතිගල සුමන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද(21) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේ දී අප විසින් සපුරාගත යුතුම ඉලක්කයක් බවට පත්ව ඇති රටේ වන ඝනත්වය සියයට 32 දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ, පාසල් දරුවන්ගේ මෙන් ම සමස්ත පුරවැසියන්ගේ ම වගකීම බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දිළිදුකම තුරන් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දිස්ත්‍රික්කයේ දුගී භාවය ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන්නේ රටේ දුගී භාවය තුරන් කර සියලූ ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අරමුණෙන් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම ජූනි 26 වන දාට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව ජූනි 23 වන දා සිට සතිය මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර තිඛෙන බව ද කියා සිටියේය.

යෝජිත තෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

Read more

Local News