ආණ්ඩුව පාස්කු දින ප්‍රහාරයේ සත්‍යය වසන්කරනවා

Share

ආණ්ඩුව පාස්කු දින ප්‍රහාරයේ සත්‍යය වසන්කරන බවට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රෝමයේ සංචාරයක් අතරතුර කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශකර ඇති අතර රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ “ප්‍රහාරය පිළිබඳ දැන නොසිටි බව පවසමින් ආණ්ඩුවට අත පිසදා ගත නොහැකි බව”යි.

රෝමයේ සංචාරයක නිරත කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැක තිබේ.

රොයිටර් පුවත් සේවය පවසන්නේ කාදිනල් හිමියන් මෙහිදී පාස්කු ඉරිදා සිදුවු ප්‍රහාර මාලාවේ විඩියෝ දර්ශනද පාප් වහන්සේ වෙත ඉදිරිපත් කර ඇති බවයි.

කාදිනල් හිමියන් එහි සිට අමෙරිකානු රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක්ද ලබා දුන්නේය.

එහිදී ඇති වු සංවාදය පහතින් දැක්වෙයි.

මාධ්‍යවේදියා – NDTV  වාර්තා කර තිබෙනවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අයි.එස්. තර්ජනයට ලක්ව ඇති බව. ඔබ දේවමෙහෙයන් අත්හිටුවීම ගැන සලකා බලනවද?

කාදිනල් – ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් මට පවසා තිබුණා මෙවන් ප්‍රහාරයක් එල්ල විය හැකියැයි ඉන්දීය බුද්ධි අංශ , අපේ ආණ්ඩුවේ විවිධ තරාතිරමේ පාර්ශ්වවලට දැනුම්දුන් බව. නමුත් අවාසනාවකට අපේ දේශපාලන නායකයෝ ඒ අයගේ උපාය මාර්ග ගැන නිසි තක්සේරුවක් නොකළා විය හැකියි. ඒ නිසා ඔවුන්ට යමක් කරගන්න බැරිවුණා.

මාධ්‍යවේදියා – ඔබ හිතනවද රජයේ කටයුතු යහපත් කියලා ? ඔබ හිතනවද දේවස්ථාන ආරක්ෂා කරගැනිම සදහා රජය පෙරට වඩා සූදානමින් කටයුතු කරනවා කියලා ?

කාදිනල් – අපි හැම වේලාවේම බලාපොරොත්තු වෙනවා මේ කාරණයේදී ආණ්ඩුව  මීට වඩා සංවිධානාත්මක වේවි කියලා. මොකද ඒ අය මීට වඩා දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතුයි.

ඔවුන්ගේ ආරක්ෂක සේවා,බුද්ධි අංශ හා අනෙකුත් සේවාවන් භාවිත කරලා මේ පිටුපස සිදුවන දේ ඔවුන් සොයා බැලිය යුතුයි. අපි දැනගෙන සිටියේ නැහැ කියලා ඔවුන්ට අත පිසදා ගන්න බැහැ. මොකද ඔවුන් මෙය දැන සිටියා.ඒ වගේම මේ ප්‍රශ්නය ඔවුන් මීට වඩා බරපතළ  ලෙස සැලකිය යුතුව තිබුණා. නමුත් අවාසනාවකට එය සිදුවුණේ නැහැ.

මේ අතර කාදිනල් හිමියන් ඊයේ රෝමයේ පැවති මාධ්‍ය හමුවකදීද පාස්කු දින ප්‍රහාරය ගැන අදහස් පළ කළේය.

එහිදී එතුමා කියා සිටියේ මෙවන් අදහසක්.

“මේ විනාශය නවත්වාගැනීමට තිබුණු දෙයක්. ප්‍රහාරයක් සැලසුම් කරලා තිබුණු බවට මම දැනගෙන සිටියා නම් මම දේවස්ථාන වසා දමා බැතිමතුන්ට නිවෙස් වෙත යන්න කියනවා. අපිට ඔවුන් ආරක්ෂා කරගන්න තිබුණා. මින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා රජයේ වගකීම් විරහිතභාවයයිත.

ප්‍රහාරයෙන් තමන්ගේ බිරිද සහ දරුවන් තිදෙනාම මියගිය පුද්ගලයෙකු මට හමුවුණා. මම ඔහුව හමුවීමට ගියාම ඔහු මට පැවසුවා මීට පෙර රැකියාව අවසන්වී නිවස වෙත  පැමිණියාම දරුවන් තිදෙනාම තමන් පිළිගැනීමට එන බවත් දැන් ඒ නිවසේ කිසිවෙකුත් නොමැතිව පාළුවට ගිහින්. ඔහු අද .තනිවෙලා.

මම කතෝලිකයන්, බෞද්ධයන් ඇතුලු සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියා මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කරන්න එපා කියලා. අපිට වැටහුණා මුස්ලිම් සමාජයම මේ ප්‍රහාරයට වගකියන්න ඕනේ නෑ කියලා.“

කාදිනල් හිමියන් මෙහිදී ඉතාලි භාෂාවෙන් අදහස් දක්වන අතරතුර සංවේදී වන අයුරුද දක්නට ලැබුණා.

Read more

Local News