මිහිදන් කර තිබූ මළ සිරුරක් දින 28කට පසු අතුරුදහන් වෙයි

Share

මියගොස් දින 28 කට පසුව මිහිදන් කර තිබූ මළ සිරුරක් අතුරුදහන් වීමේ සිද්ධියක් අද(24) පෙරවරුවේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ නිකවැහැර පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

ගලේවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේදී ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමියක මීට දින 28කට පෙර මිහිදන් කළ අයෙකුගේ මළ සිරුරක් මෙසේ අතුරුදහන්ව තිබේ.

එම මළ සිරුර සොයා ගැනීම සඳහා අවට මෑතකදී මිහිදන් කළ තවත් වලවල් දෙකක් හාරා තිබෙන බව පොලීසිය පවසයි.

පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බැලීමේදී ගොඩගත් මළ සිරුර ඇල පහරක් දිගේ මීටර් දෙසීයක පමණ දුරකින් පිහිටි මුරුංගා වගා කර ඇති හේනක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වි තිබේ.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි හබිබී ලෙබ්බේ මන්සූර් නැමති 50 හැවිරිදි අයගේ මළසිරුර බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය අයගේ ඥාතීන්වරයකු කියා සිටියේ උදෑසන තම ඥාතියාගේ මිහිදන් කළ භූමියේ වළක් හාරා ඇති බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේදී එහි තැන්පත් කොට තිබූ මළ සිරුර නොමැති බව පොලීසියට දැනුම් දුන් බවයි.

පසුව පොලිසිය පැමිණ විමර්ශනය කිරීමේදී මළ සිරුරේ කොටස් ස්ථානයක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගත් බව ඔහු කියා සිටියේය.

කවුරුන් විසින් මෙය සිදු කළේ ද යන්න හෝ කුමක් නිසා මෙම මළ සිරුර ගොඩ ගත්තේ තියන්න නිශ්චිතවම හඳුනා ගැනීමට නොහැකි බව පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් මළ සිරුර පිළිබඳව නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ගලේවෙල පොලීසිය සඳහන් කළේය.

දැනට මළ සිරුර හමුවූ ස්ථානයට සහ සුසාන භූමියට පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News