අධ්‍යාපන අමාත්‍ය අකිල ජනපති කොමිසමට කැඳවයි

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා යි.

ලබන මස 08 වන දින අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ(24) දිනයේ සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඊට අමතරව ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී සිදුවී ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල විභාග කිරිමේ කටයුතු ඊයේ දිනයේ දී ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදුකර ඇති අතර එහිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බි.ඉලංගසිංහ මහතා සාක්ෂි ලබා දී ඇති බව සඳහන්ය.

පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාට පෞද්ගලිකවම කතා කර ඔහුගේ ජායාරූපයක් සහ ඔහුගේ ප්‍රකාශයක් සියලුම පෙළපොත්වලට ඇතුළත් කරන ලෙස දැනුම්දුන් බවයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

තමාට දිගු දේශපාලන ගමනක් යාම සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ලබාගැනීමේ අරමුණින් එවන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අදාළ ඡායාරූපය සහ ඔහුගේ අත්සනින් යුත් ලිපිය පෙළපොත්වල පලකරන ලෙස ඉල්ලා සිටි බව ඉලංගසිංහ මහතා එහිදි සඳහන් කර තිබේ.

අදාළ ඡායාරූපය සහිත පිටුවක් පෙළපොතක් සදහා ඇතුළත් කිරීමට රුපියල් 4ක අතිරේක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් පසුගිය වසර කිහිපය තුළ කෝටි 4ක පමණ පෙළපොත් මුද්‍රණය කර ඇති බවත් ඊයේ දිනයේ දී අනාවරණය වූ බවයි ජනාධිපති කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News