මිලින්ද මොරගොඩගෙන් නිවේදනයක්

Share

19 වැනි සංශෝධනය වෙනස් කිරීම, පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සහ ජනතා ඡන්දයෙන් පත්කරන හෝ ආණ්ඩුවේ බලයට නතු නොවන සෙනෙට් සභාවක් පත්කිරීම යන කරුණු තුන කෙරෙහි අවධානය යොමු කරන ලෙස ‘උරුමයක උල්පත’ පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

අනාගත ශක්තිමත් ආණ්ඩු පාලනයක් සම්බන්ධයෙන් මෙම කරුණු පිළිබඳව සිය ස්ථාවරය පුරවැසියන් වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින මොරගොඩ මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

1.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව දුබල ක්‍රියාකාරීත්වයකින් යුතු ව්‍යුහයකින් යුත් ආණ්ඩු පාලනයක් නිර්මාණය කර ඇති අතර පුරවැසියන් කෙළින්ම ඡන්දය දී පත්කරන විධායක ජනාධිපතිවරයාට නිසි බලයක් රහිතය. එහෙයින් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

විනිවිද පෙනෙන හා සමබර පාලනයක් ඇති කරන විධායක ජනාධිපති ක්‍රමයක් වෙනුවෙන් 19 වැනි සංශෝධනය වෙනස් කළ යුතුව තිබේ. එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යය. නැතිනම්, නැවතත් 1977ට කලින් තිබුණ පාර්ලිමේන්තු ක්‍රමයට යා හැකිය. ස්ථාවර ආණ්ඩු පාලනයක් සඳහා පවතින සමානුපාතික නියෝජන ක්‍රමය ද වෙනස් කළ යුතු අතර එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයකින් අනුමැතිය ගැනීමට සිදුවිය හැකිය.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනයෙන් ඇති කළ පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු බවට පත්ව ඇති අතර එය පුරවැසියන්ට වසරකට රු. බිලියන 250කට අධික බරක් පටවා තිබේ. රටට තවත් දේශපාලනඥයන්ගේ තලයක් අවශ්‍ය නැත. පළාත් පාලන ආයතනවල බලතල පුළුල් කිරීමෙන් පළාත් සභා රහිත ක්‍රමයක් යටතේ ජනතාවට ප්‍රයෝජනවත් වන සේ බලය බෙදා හැරිය හැකිය. එය රට පළාත් වශයෙන් බෙදීම වළකා සමාජ ඒකාබද්ධතාවයක් ඇති කරනු ඇත. අවශ්‍ය නම් පළාත් පාලන ආයතන ගණන වැඩි කරන්නට පුළුවන්කමක් තිබේ. මෙකී ප්‍රතිසංස්කරණය ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන ප්‍රාදේශීය පාලනයක් සහිත දේශයක් බිහි කළ හැකිය. එයට අවශ්‍ය සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් කළ හැකිවේ.

3. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආගමික හා ජනවර්ගවලට සහභාගී විය හැකි හා සක්‍රීයව දායකත්වය දැක්වීමට ඉඩ ලැබෙන විශේෂිත සංසදයක් බිහි කළ යුතුව තිබේ. එය විශේෂයෙන් සම්පාදනය කළ සෙනෙට් මණ්ඩලයක් ඇති කිරීමෙන් කළ හැකි අතර සුළු ජන කොටස්වල අභිලාශ සාක්ෂාත් කරන හා සමාජ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් රටට අවශ්‍ය පදනමක් සකස් කරන ඵලදායී ක්‍රමයක් වනු ඇත. ජනතා ඡන්දයෙන් පත් කරන හෝ ආණ්ඩුවේ බලයට නතු නොවන වක්‍ර ආකාරයකින් සෙනෙට් සභාව පත් කරගත හැකිය. මෙම සංශෝධනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර හෝ සමහර විට ජනමත විචාරණයක් අවශ්‍ය වේ.

ශ්‍රී ලාංකිකයන් ඉදිරියේ දී පවත්වන්නට නියමිත මැතිවරණ ගණනාවක ඡන්දය පාවිච්චි කරනු ඇති අතර ජනාධිපති ධුර අපේක්ෂකයන් හා අනෙක් ජාතික නායකයන් තමන් බලයට පත් වූ පසු බිහිකරන ආණ්ඩුවේ ව්‍යුහය ගැන සිය ස්ථාවරය පළ කිරීම ඉතාම වැදගත්ය. නොඑසේ නම් අද පවතින දුර්වල පාලනය ආකාරයේ ආණ්ඩුවක් අනාගතයේ දී රට තවත් අස්ථාවර තැනකට යොමු කරනු ඇත.

Read more

Local News