ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි සම්බාධක

Share

ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඊට අදාළ ලේඛනයට ජනාධිපති ට්‍රම්ප් ඊයේ අත්සන් තැබුවේය.

දෙරට අතර අර්බුදය උග්‍රවී ඇති පසුබිමකයි අමෙරිකාව ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවා තිබෙන්නේ.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනිද මෙම නව සම්බාධක වල ඉලක්කයක් වී තිබේ.

පසුගියදා ඉරානය විසින් අමෙරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලනු ලැබූ අතර ඊට ප්‍රතිචාරයක් ලෙස සම්බාධක පැනවීම සිදුකර ඇති බවත් සඳහන්.

ඉරාන නායකයන් සමග සාකච්ඡාවකට තමා සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළද තමාට එරෙහි සම්බාධක ඉවත් කරන තුරු සාකච්ඡාවකට එක් නොවන බව ඉරානය පවසන්නේය.

එමෙන්ම ට්‍රම්ප් රජය යුද පිපාසයකින් පෙලෙන බවටත් ඉරානය චෝදනා කරයි.

මේ අතර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන විදේශ ඇමති ජාවෙඩ් සරීෆ් සඳහන් කළේ අමෙරිකාව රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවමානයට පත් කරමින් සිටින බවයි.

කෙසේ නමුත් මෙම වාතාවරණය තුළදී රාජ්‍ය තාන්ත්‍රික භාවය භාවිත කරන ලෙසත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ජගත් සංවිධානය දෙපාර්ශවයෙන් ඉල්ලා ඇතැයිද සඳහන්.

Read more

Local News