මෝර වරල් තොගයක් සමඟ අයෙක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි මෝර වරල් කිලෝග්‍රෑම් 854.3 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෝර වරල් තොගය අධිශිතකරණය කරන ‍ලද ලොරියක් තුල ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 48 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

අත්අංගුවට ගත් පුද්ගලයා, මෝර වරල් සහ ලොරිය ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දිමට කටයුතු කරන ලදී.

තවද, අපනයනය කිරීම සඳහා මෝර වරල් ලබා ගැනීමට විශාල ලෙස මෝරුන් ඇල්ලීම හේතුවෙන් මෝර විශේෂ වඳ වී යෑමේ තර්ජනයකට ලක් වි ඇති අතර, මෝර වරල් ලබා ගැනීම සඳහා ලෝකය පුරා මෝරුන් විශාල ප්‍රමාණයක් මරා දමනු ලබයි.

ජපානය හා චීනය වැනි නැගෙනහිර ආසියාතික රටවල මෝර වරල් වලින් සාදනු ලබන මිලෙන් අධික සුප් සඳහා අධික ඉල්ලුමක් ඇති හෙයින් මෝර වරල් ලබා ගැනීම සඳහා මෝරුන් ඇල්ලීම ආර්ථික වශයෙන් ඉතා ලාභදායී රැකියාවක් බවට පත් වී ඇත.

මෝර සුප් සඳහා මෝර වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටස යොදා ගන්නා බැවින් අල්ලාගන්නා මෝරුන් ප්‍රධාන වරල් කපා සාගරයේදීම ඉවත් කර ගැනීමට ධීවරයන් කටයුතු කරන අතර, වරල් ඉවත් කර ගත් පසු මෝරුන් නැවතත් මුහුදට මුදාහරින අවස්ථා ද දක්නට ඇත.

තවද, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වඳවි යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිනිමුතු මෝරා, පොල්කොල මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

මෝරා සමුද්‍ර පරිසර පද්ධතිය සමතුලිතව තබා ගැනීමට උපකාරී වන මත්ස්‍යයෙකු වන අතර, මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවිමෙන් කටයුතු කරනු ලබයි.

Read more

Local News