වෛද්‍ය ශාෆිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Share

රහස් පොලිසිය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍ය ශාෆි සිහාබ්දීන් මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිය නිතිඥ රුෂ්ඩි හබීබ් මහතා මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා, කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම මගින් වෛද්‍ය ශාෆි සිහාබ්දීන් මහතා කියා සිටින්නේ සිංහල බෞද්ධ කාන්තාවන් 4000 කට අධික සංඛ්‍යාවක් තමා විසින් සැත්කම් සිදු කිරීමේදී වඳ කළ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පුවත් පළවීමෙන් පසුව පොලිසිය තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගත් බවයි.

ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයට අනුව තමන්ව මේ වන විට රහස් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බව ද වෛද්‍ය ශාෆි සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුලින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News