රාජිතට, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සහාය

Share

සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ(25) පැවැත්විනි.

එහිදී සංගමයේ නිලධාරී මණ්ඩලය ප්‍රකාශ කළේ වෙනත් වෛද්‍ය වෘත්තීය සමිති මෙන් නොව තම සංගමය වෛද්‍ය වෘත්තිය ආරක්ෂා කරමින් කටයුතු කරන බවයි.

සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගන්නා බවත්, වෛද්‍යවරුන්ගේ ගරුත්වය විනාශ නොකරන බවත්, එම සංගමය අවධාරණය කර සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ආරම්භ කළ ජනතා හිතවාදී සෞඛ්‍ය වැඩපිළිවෙල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙහිදී අගය කරන ලදි.

තව ද මෙම සාකච්ඡාවේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛණ ඉදිරි දෙසතිය තුල සකස් කර අවසන් කරන ලෙස සේඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු මහතාට දැනුම් දෙන ලදි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇති බැවින්, එහෙත් වයස අවුරුදු 60 න් විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරයෙකුට තීරැ බදු රහිත වාහන බලපත්‍රය ලබාගැනීමේ හිමිකම සකස් කර දෙන මෙන් එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඒ පිළිබදව අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ප්‍රමාදය වැළැක්වීම, දරුවන්ට විදුහල් ලබාදීම, නිල නිවාස ගැටලුව පිළිබද කරුණු පිළීබදව ද මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

තවද ඇතැම් ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ද මෙහිදී තීන්දු කෙරිනි.

මෙම සාකච්ඡාවට වැඩබලන සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍ය සංගමයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

Read more

Local News