සෙනරත්ගේ නඩුවට අදාල විත්තියේ වාචික දේශන ඉදිරිපත් කිරිම අදින් අවසන් වෙයි

17

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළ විත්තියේ වාචික දේශන ඉදිරිපත් කිරිම අද(26) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ  අවසන් කෙරුණි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද යලි කැඳවනු ලැබීය.

එහිදී නඩුවේ දෙවන සහ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ සහ මුල්‍ය නිළධාරි ලසන්ත බණ්ඩාර වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කළේය.

ඉන් අනතුරුව නඩුවට අදාල ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 09 වනදා ඉදිරිපත් කරන ලෙසත් එම දේශන වලට පිළිතුරු දීමට තිබේනම් ඒවා ලබන 12 වනදා ඉදිරිපත් කර ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිලි හා විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියේය.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කළේය.

ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙයි.