වෙල්ගම ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කැඳවන්න දින නියම වෙයි

Share

අල්ලස් කොමිසමට එරෙහිව හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ එකාබද්ද විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අගෝස්තු මස 26 වන දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු කුලතුංග මහතා නියෝග කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 26 වන දා කැදවන ලෙසයි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටින්නේ ඉකුත් රජය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රුපියල් ලක්ෂ 33 ක මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම තමාට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවයි.

මෙම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධී යැයි සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බවද කුමාර වෙල්ගම මහතා කියා සිටියේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී ප්‍රකාශ කර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

Read more

Local News