කඩාෂියන්ගේ කිමෝනෝ යට ඇඳුමට ජපානයේ විරෝධය

Share

ඇමෙරිකානු රූපවාහිනී රියැලිටි තරුවක් ලෙස සැලකෙන කිම් කාඩාෂියන් ශරීරය හැඩකර පෙන්වීම පිණිස හඳුන්වා දෙනු ලැබූ නව ඇඳුම් සන්නාමයක් ජපාන ජනතාව කෝප ගන්වා තිබේ.

කිමෝනෝ ඉන්ටිමේට්ස් නමින් මෙම නව ඇඳුම් වර්ගය වෙළෙඳ පොළට හඳුන්වා දීමේ අරමුණ, කාන්තාවන්ගේ ශරීරයේ හැඩය සැමරීම සහ වැඩිකර පෙන්වීම බව ඇය සඳහන් කර ඇත.

නමුත්, ජපාන ජනතාව සමාජ මාධ්‍යවල මෙම ඇඳුම් සන්නාමය දැඩි ලෙස විවේචනයට ලක්කරමින්, එමගින් ජපානයේ සම්ප්‍රදායික කිමෝනෝ ඇඳුමට අගෞරවයක් සිදුකර ඇති බව කියයි.

“අපි කිමෝනෝ ඇඳුම අඳින්නේ අපේ සෞඛ්‍ය, ළමයින්ගේ වර්ධනය, විවාහ, උපාධි උත්සව, ආදාහන උත්සව වගේ දේවල්වලට. මේ ඇඳුම අපේ පවුල්වලට පරම්පරාවලින් ලැබුණු දායාදයක් යැයි පැවසිය හැකියි” ජපාන ජාතිකයෙකු පවසා තිබුණි.

“අපේ කිමෝනෝ ඇඳුමට මේ මේ හඳුන්වා දී තිබෙන ඇඳුම කිසිම සමානකමක් නැහැ. ඇගේ කිම් නම ඇතුළත් නාමක් දාගන්න ඕනෙ නිසා මේ නම ගත්තා වෙන්න පුළුවන්. නමුත්, මේ ඇඳුමට අපේ සංස්කෘතියේ ඇති වැදගත් තැන ගැන කිසිම ගරු කිරීමක් කරලා නැහැ.” තවත් අයෙකු පවසා තිබුණි.

මෙවැනි ජපානයේ සංස්කෘතිමය වැදගත්කමක් ඇති නමක් සිය ඇඳුම් සන්නාම සඳහා කිම් කාඩේෂියන් විසින් යොදාගනු ලැබීම ගැන ඇතැමුන් විරෝධය පළකරද්දී තවත් සමහරුන් කණස්සල්ල පළකරන්නේ සාම්ප්‍රදායික ඇඳුමක නමක් යට ඇඳුම් සන්නාමයක නමකට යොදා ගැනීම ගැනය. මේ නිසා අනාගතයේදී, කිමෝනෝ යන නම ජපානයට වඩා කිම් කාඩාෂියන් වෙත සම්බන්ධ කළ හැකි බවද ඇතැම් ජපාන වැසියන්ගේ මතය වී තිබේ.

Read more

Local News