ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ 2389ක් අත්අඩංගුවට

Share

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිදුකළ සෝදිසි කිරිම්වලදි පුද්ගලයින් 2389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.

ඉන් 236 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත්,189 දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

රඳවා ගෙන ප්‍රශ්න කරන පුද්ගලයන් අතුරෙන් තුන්දෙනෙකු හදිසි නීතිය යටතේ හා 186 දෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන  තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් 263 දෙනෙකුට නඩු පැවරිමට අවශ්‍ය සාධක තිබෙන බවත්, 94 දෙනෙකු සම්බන්ධව නීතිපති උපදෙස් ඉල්ලා තිබෙන බවත් ඔහු  පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් 42 දෙනෙකුට නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කරගෙන යන බවත්, 07 දෙනෙකු නිදහස් කර තිබෙන බවත් නලීන් බණ්ඩාර මහතා පැවසීය.

හදිසි නීති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතුරෙන් 79 දෙනෙකු අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව තුළද, ත්‍රස්ත මර්දන ඒකකය තුළ 29 දෙනෙකු  හා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ  29 දෙනෙකු රඳවාගෙන සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

සහරාන්ගේ දේශනවලට සහභාගිවී අතරමග ඔහු හැරගිය පුද්ගලයන් සම්බන්ධව ආරක්ෂක අංශ සොයා බලමින් සිටින බවත්,එසේ සහරාන්ගේ දේශනවලට සහභාගිවූ 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු  පැවසීය.

මෙම 51 දෙනා සම්බන්ධව ගන්නා තීරණය ගැන අවධානය යොමු කර තිබෙන බවත්, ඔවුන් පුනරුත්ථාපනය කිරීම වැනි දැඩි තීන්දු ගැනීමට සිදුවෙන බවත් නලීන් බණ්ඩාර මහතා පැවසීය.

මොවුන් දේශනවලට සහභාගිවීම නිසා නඩු ගොනුකිරීමට නොහැකි බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

සිද්ධියෙන් පසු ජාතිවාදි කෝලහාලවලට සම්බන්ධ 151ක් අත්අඩංගුවට ගත් බවත්, පොලිසිය ප්‍රමාණවත් නොවන බැවින් හමුදාවේ සහාය ගැනීමට හදිසි නීතීය පවත්වාගෙන යා යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කළ ආකාරය ගැන සතුටු බවත්,ඇතැම් පුද්ගලයන් මෙම සිද්ධි යොදාගෙන දේශපාලන  කර රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවත් ඔහු  පැවසීය.

අත්අඩංගුවට ගත් බොහෝ අය සම්බන්ධව මුස්ලිම් සමාජයෙන් තොරතුරු ලැබී තිබූ බවද ඔහු පවසා සිටියේය.

Read more

Local News