මෝදී හා ට්‍රම්ප් අතර අද තීරණාත්මක සාකච්ඡාවක්

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඒ, ජපානයේ ඔසාකා නුවරදීයි.

දෙරට අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වී ඇති පසුබිමකදී මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, සිය භාණ්ඩ සඳහා ඉන්දියාව පැන වූ අධික බදු ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බවයි.

අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 28 ක් සඳහා පසුගිය 17 වැනි දා සිට ඉන්දියාව නව තීරු බදු පනවනු ලැබුවේ ය.

ඒ, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන වානේ, ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ සඳහා පැන වූ තීරු බදු ඉවත් කිරීම අමෙරිකාව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර ලෙසයි.

ඒ අනුව අමෙරිකාවෙන් ආනයනය කෙරෙන ආමන්ඩ්, ඇපල් ඇතුළු නිෂ්පාදන 28 කට ඉන්දියාව 70% ක බදු පනවනු ලැබුවේ ය.

ඉන්දියාවට ලබාදෙන ජී.එස්.පී හෙවත් වරණීය තීරු බදු සහනය අවසන් කරන බව ද අමෙරිකානු ජනපතිවරයා පසුගිය දා නිවේදනය කළේ ය.

අමෙරිකානු ජී.එස්.පී බදු සහනය බුක්ති විඳින ලද විශාලතම රට ඉන්දියාවයි.

ඒ යටතේ ඩොලර් බිලියන 5.6 ක භාණ්ඩ, තීරු බදු සහන යටතේ අමෙරිකාවට ආනයනය කෙරුණි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී පවතින වෙළෙඳ යුද්ධය අවසන් කර ආර්ථික සබඳතා තරකර ගැනීමට දෙරටේ නායකයින් එකඟ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News