දිස්ත්‍රික්ක 04 ක අද දැඩි උණුසුමක්

Share

දිස්ත්‍රික්ක 04 ක අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි.

ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වනවිට එම සංඛ්‍යාව 445,000 ඉක්මවා ඇති බවයි.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාත තුළය.

එම සංඛ්‍යාව 192,000 ඉක්මවන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය.

වියළි කාලගුණයෙන් නැගෙනහිර පළාතේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 152,000 කි.

උතුරු මැද පළාතේ 13,000 කට අධික සංඛ්‍යාවක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, පීඩාවට පත් වූ පුද්ගලයින්ට පානීය ජලය සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

Read more

Local News