සජින් වාස්ට එරෙහි නඩුව කැඳවන්න දින නියම වෙයි

Share

මිහින් ලංකා ආයතනයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි මස 12 වනදා කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට එරෙහිව තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අදාළ මූලික විරෝධතා පිළිබඳ කරුණු දැක්වීම් ජුලි 12 වනදා සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

ඉකුත් රජය සමයේ මිහින් ලංකා ආයතනයට ආම්පන්න මිලදී ගැනීමේ කටයුතුවල දී රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News