දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කරන්න පුළුවන්

Share

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීම හැකියාවක් පවතින බව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

අද (28) මාරවිල මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදි තිබේ.

එමෙන්ම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 6 දෙනා කිසිදු ඇපයකින් තොරව නිදහස් කිරීමට මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය 24 දා දි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව විසින් දංකොටුව පොලිස් වසමේ දංකොටුව සති පොළේ මුස්ලිම් ප්‍රජාවට වෙළඳාම් කිරීම තහනම් බවට ‍නියෝගයක් නිකුත් කර තිබිණි.

පසුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මඟින් නිකුත් කළ තහනම් ‍නියෝගයට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 6 කට අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණි.

ඒ අනුව ජුනි 25වන දා ‍දංකොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත දංකොටුව පොලීසිය විසින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී.සුසන්ත පෙරේරා මහතා ඇතුළු 6 කට එළඹෙන 28 වන දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට එලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීමට හේතු දක්වන ලෙසට දන්වා නොතීසි නිකුත් කර තිබුණි.

Read more

Local News