බීඩි කොළ කිලෝ 1338 ක් සමඟ 4ක් අත්අඩංගුවට

Share

නාවික හමුදා පුද්ගලයින් විසින් (29) දා පුත්තලම කළපු ප්‍රදේශයේ සහ නයනතිව් දුපත ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝ 1338 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි ඩිංගි යාත්‍රා තුනක (03) ප්‍රවාහනය කරමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1287 ක් සමඟින් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී බීඩී කොළ ප්‍රවාහන කළ ඩිංගි යාත්‍රා තුනක් සහ පිටත දහන යන්ත්‍ර 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32, 33,39 සහ 46 වන වියෙහි පසුවන කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, බීඩිකොළ තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, එදිනම උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් යාපනය, නයනතිව් දුපත ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 51 ක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒවා පාර්සල් තුල බහා තිබී ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාවක් නොමැති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

Read more

Local News