බස් ගාස්තු සංශෝධනය අද සිදුවෙයිද ?

Share

බස් ගාස්තු සංශෝධනය අද (01) දින සිදුවිය යුතු බවත්, එම සංශෝධනය ලබා නොදීම බස් රථ හිමියන්ට සිදුකරන ලද අසාධාරණයක් බවත් බස් සංගම් සඳහන් කරයි.

වාර්ෂිකව සිදුවන ගාස්තු සංශෝධනය අද සිට සිදුවිය යුතු බවත්, එහෙත් ප්‍රවාහන බලධාරීන් ඒ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හෝ සිදු නොකළ බවත් එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

බස් ගාස්තු සංශෝධනය ලබා නොදීම පිළිබඳ අද (01දා) දින ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ලිඛිතව තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

බස් ගාස්තුව ක්‍රියාත්මක නොවුණද, අද දිනය වනවිට ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව තිබෙන ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කිරීම ජාතික ගමනාගාමන කොමිසමේ වගකීමක් බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

එම වගකීම ඉටු නොකිරීම බරපතළ වරදක් බවත්, එබැවින් කඩිනමින් සාධාරණ බස් ගාස්තුවක් බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා සිටියේය.

වත්මන් ආණ්ඩුව උපක්‍රමශීලීව බස් හිමියන් නොසලකා හරින්නේ නම්, ඉදිරියේදී එයට පිළිතුරු දීමට සූදානම් බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

බස් රථ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.

Read more

Local News