ඇසළ පෙරහැරට එන සියලු කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක්

Share

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලුම කලාකරුවන්ට මහනුවර පොලීසිය මගින් විශේෂ හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට පෙර ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාළ නියෝජනය කරමින් දළඳා පෙරහැරට සහභාගි වන කලාකරුවා තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් පදිංචිය සනාථ කළ ලිපියක් ලබ ගෙන එය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර පොලිස් වාර්තාවක් ලබා ගත යුතුව ඇත.

පොලීසිය මගින් නිසි පරීක්ෂාවකින් පසු නිකුත් කරනු ලබන පොලිස් සහතිකය මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වීම සඳහා වන හැඳුනුම්පත නිකුත් කිරීමට නියමිත වේ.

මහනුවර ඇසැළ පෙරහැර මංගල්‍යය සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සතර මහ දේවාළ නියෝජනය කරමින් කලාකරුවන් 1500 ක පමණ පිරිසක් සහභාගි වන අතර මෙම කලාකරුවන්ට අමතරව අලි ඇතුන් සමඟ පෙරහැරේ ගමන් ගන්නා ඇත්ගොව්වන්ටද අදාළ හැඳුනුම්පත අනිවාර්ය කර තිබේ.

පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ මෙවර මහනුවර ඇසැළ පෙරහැර සංවිධානය කිරීමට දිවවඩන නිළමේවරයා ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිළමේවරු තීරණය කර ඇති අතර පෙර වසර වලට වඩා මෙවර පෙරහැරට සම්බන්ධ කෙරෙන ශිල්පී කණ්ඩායම් ප්‍රමාණය අඩු කිරීමට පෙරහැර සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබේ.

Read more

Local News