විදේශ රැකියාවට යොමුවන ශ්‍රමිකයින් සඳහා සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

Share

විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සඳහා කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමඟ සාකච්ඡා කර තිබේ.

එහිදී පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය හා නිවාස ණය මුදල් ලබාදීම පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡාට ලක්විය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නියෝජිතයින් සමඟ දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයේ අඩුපාඩු හා ණය මුදල වැඩි කර ගැනීමත්, ශ්‍රමිකයින්ගේ ආයෝජන අවස්ථා වැඩි කරගැනීමට උපකාර කිරීමත් යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මහජන බැංකුවේ නියෝජිතයින් සමඟ දැනට ලබාදෙන රු.50,000 පෙර විගමණික ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකර ගැනීමටත් නිවාස ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ගැනීමටත් සාකච්ඡා විය.

එසේම අකර්මණ්‍ය වී ඇති ස්වයං රැකියා ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳවත් දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක්කරන ලදී.

මෙම කරුණු පිළිබදව බැංකු ආයතන දෙකම ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර, ඉදිරියේදී වඩාත් පහසු නීතිරීති යටතේ මෙම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමටත් එකඟ විය.

Read more

Local News