රාජ්‍ය වැටුප් සහ විශ්‍රාම වැටුප් අද සිට ඉහළ යයි

Share

2019 අයවැය යෝජනාවලිය හරහා මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබූ අයවැය යෝජනා කිහිපයක් අද(01) සිට ක්‍රියාත්මක වීම ආරම්භ වෙයි.

එම යෝජනාවලට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා සහ විශ්‍රාමලාභින්ගේ වැටුප් අද සිට ඉහළ නැංවීමට නියමිතයි.

මේ වසරේ මාර්තු මාසයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය අප්‍රේල් මස 05 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ අතර අයවැය හරහා යෝජනා කර තිබූ සහන කිහිපයක් ක්‍රියාත්මක වීම අද ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින්ට අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල්   2500 ක අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට නියමිත අතර එම දීමනාව ලබාදීම ආරම්භ කලද දැනට රාජ්‍ය සේවකයින්ට ලබාදෙන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාව අඛණ්ඩව ඉදිරියටත් ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම රණවිරුන්ට ලබාදෙන දීමනා රැසක්ද මේ මස සිට ඉහළ නංවා ඇති අතර යුද්ධ හමුදාවේ කමාන්ඩෝ දීමනාව අද සිට රුපියල් 1000 සිට 5000 දක්වා ඉහළ නැංවෙයි.

හමුදා සාමාජිකයින් සඳහා ලබාදෙන ගෙවල් කුලී දීමනාවද මේ මාසයේ සිට දෙගුණ කිරීමට කටයුතු කර ඇති අතර ත්‍රිවිද හමුදාවට ලබාදෙන නිල ඇඳුම් දීමනාවද දෙගුණයක් පමණ ඉහළ නංවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

2015 දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් ලක්ෂ 05කට වැඩි සංඛ්‍යාවක් සදහා අද සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රුපියල් 2800 සිට උපරිමය රුපියල් 20000 දක්වා විශ්‍රාම වැටුප් ඉහළ නැංවෙනු ඇති.

දුබලතා සහිත විශේෂ හැකියා ඇති පුද්ගලයින් සඳහා දැනට ගෙවන රුපියල් 3000 ක දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමටද නියමිතයි.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින් 21,000 සඳහා මේ වන විට රජය මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන අතර එම දීමනාව අද සිට තවත් රොගීන් 5000 කට ලබාදීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙම නව වැටුප් සංශෝධන සහ සහන සඳහා රජය රුපියල් මිලියන 39,365ක මුදලක් වැයකරන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News