ත්‍රීරෝද රථයක් අනතුරක – පාසල් ළමුන් 08කට තුවාල

Share

පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථයක් අනතුරට පත් විමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.

අද(02) උදැසන 7.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ හපුගස්තලාව මුස්ලිම් විදුහලට ආසන්නයේදීය.

හපුගස්තලාව අක්කර 10 ප්‍රදේශයේ අතුරුමාර්ගයක සිට අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමත් සමඟ ත්‍රීරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගය අභියස තිබු කාණුවක් මතට පෙරළීමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් හපුගස්තලාව මුස්ලිම් පාසලේ 1 වසරේ සිට 3 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙකු සහ සිසුවියන් තිදෙනෙකු සිටින බවත්, ඔහුන් අවුරුදු 7 ත් 8 ත් වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පැවසුවේය.

තුවාල ලැබු සිසුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරෙන් ත්‍රීරෝද රථයටද දැඩි අලාභහානි සිදු වි ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාර රිය ධාවනය සහ අධික වේගය, පමණට වඩා ත්‍රීරෝද රථයේ සිසු සිසුවියන් ප්‍රවහනය කිරිම අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

Read more

Local News