හිටපු නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරිට වසර තුනක සිර දඬුවමක්

Share

ග්‍රාම ආරක්ෂක නිලධාරීන් තම නිවසේ සේවයට යොදවා ගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 3 ක සිර දඩුවම් නියම කර තිබේ.

අදාල නඩුව අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විභාගයට ගැනුණි.

එහිදී අධිකරණය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලක්ෂ 3 ක දඩයක් ද නියම කර තිබේ.

2007 වසරේදී මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගත් බවට හෙක්ටර් ධර්මසිරි මහතාට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දිනයේ එහි තීන්දුව ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ සැකකරු චෝදනා 6 කට වරදකරු කරන බවයි.

ඒ අනුව එම චෝදනා 6 ට වෙන් වෙන්ව වසර බැගින් ලිහිල් සිර දඩුවම් නියම කළ අතර එම සිර දඩුවම් වසර 3 කින් ගෙවී යන ලෙස ලබාදීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

මෙවැනි දඩුවමක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මෙම චෝදනාවලට ලක්වන සහ එවැනි වැරදි සිදුකරන සෙසු රජයේ නිලධාරීන්ට ආදර්ශයක් වන ලෙස බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම චෝදනා 15 ක් යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට නඩු ගොනු කර තිබූ අතර වරදකරු වූ නඩු 6 ට අමතරව සෙසු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.

Read more

Local News