රාජ්‍ය ආයතනවල මානව සම්පත් සැලැසුම් නෑ

Share

බොහෝ රාජ්‍ය ආයතනවල මානව සම්පත් සැලැස්මක් නොමැති බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ හේතුවෙන් ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් වර්ෂයකට අවම වශයෙන් සේවකයෙකුට පැය 12ක පුහුණුවක් ලබා දිය යුතු බව අලගියවන්න මහතා කියා සිටියේය.

පුහුණුවීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළද කිසිවක් සැලසුමකට අනුව ඉටු නොවන බව වැඩිදුරටත් ඔහු පැවසීය.

රාජ්‍ය ආයතන විසින් ජනතාවට ලබා දෙන සේවාවන් පිළිබඳව පුරවැසි ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය චක්‍රලේකන යොමු කර තිබුණද බොහෝ රාජ්‍ය ආයතනවල එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලු ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් රාජ්‍ය ආයතනවල සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් කුමන ආකාරයේ ආකෘති පත්‍ර සම්පූර්ණ කළ යුතුද යන්න පිළිබඳව ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජනතාව දැනුවත් කළ යුතු බව ඔහු කියා සිටියේය.

වර්ෂය ආරම්භයේ දී ආයතනවලට පුරවැසි ප්‍රඥප්තිය පිළිබඳ ඉලක්කයන් ලබා දී වසර අවසානයේදී එම ඉලක්ක සපිරුණාදැයි යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News