පොලිස්පති ධුරය දරමින් රිමාන්ඩ් විමෙන් පුජිත් වාර්තා අතරට එක් වෙලා

Share

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යාව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් දෙදෙනා අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව පොලිසිය පැවසුවේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අත්අඩංගුවට ගනු ලැබුවේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව පූජිත් ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්‍රනාන්දු මහතාට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේවෙතත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ උදෑසන හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් කල අතර ඇති වු හදිසි හෘදයාබාධ තත්ත්වයක් ‍හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත පැමිණි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිට ඉදිරිපත් වූ කරුණු සලකා බලා පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මොවුන් දෙදෙනා මේ වන  විට බන්ධනාගාර නිළධාරින් භාරයේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.

පොලිස්පති ධුරය දරමින් සිටියදී චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ප්‍රථම පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බවට වාර්තාගත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

Read more

Local News