පන්දු යවන්නකුගේ අඩුව හිටි හැටියේම මැතිව්ස් සම්පූර්ණ කළාද ?

Share

තමන් ඉතාමත් ඉක්මනට පන්දු යැවීම ආරම්භ කරන්න බලාපොරොත්තු වන බවත්, මාස අටකට පසුව යැවූ පළමු පන්දුවේදී අවශ්‍ය කඩුල්ල දවා ගැනීමට ලැබීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී පෙරේදා (01දා) පැවැති තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මැතිව්ස් මේ බව පවසා සිටියේය.

මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 23ක ජයක් ලැබූ අතර, එහිදී පන්දු යවන්නකුගේ අඩුව හිටි හැටියේම සම්පූර්ණ කරමින් මැතිව්ස් පන්දු වාර දෙකක් ක්‍රියාත්මක කළේය. එහිදී මැතිව්ස් යැවූ පළමු පන්දුවට, ඒ වන විට ලකුණු 118ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට තර්ජනයක් බවට පත්ව සිටි නිකොලස් පූරාන් දැවී ගියේය.

මැතිව්ස් එම පන්දු යැවීම සහ එම අවස්ථාව පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මාස අටකින් පසුව යැවූ පළමු පන්දුවේදීම පූරන් දවාගන්න හැකි වුණා. මම පුහුණුවීම්වලත් මාස අටකින් පමණ පන්දු යවලා තිබුණේ නැහැ. තරගයේ අවස්ථාව අනුව පන්දු වාර දෙකක් යවන්න වුණා. මම නායකයාට කිව්වා මම ඒ පන්දු වාර දෙක දාන්නම් කියලා.

මමයි, දිමුතුයි දිගටම කථා වෙවී හිටියා පන්දු වාර දෙකක් හදන්න තියෙනවා කියලා. පන්දු වාර 40න් පසුව අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ දඟ පන්දු යවන්නා ගේන්න. මොකද නිකලස් පූරාන් හොඳට පන්දුවට පහර දෙමින් සිටියා. මම දැක්කා දිමුත් පන්දු යවන්න කාවහරි සොයමින් ඉන්නවා. මම දිමුත්ට කිව්වා මම දාලා දෙන්නම් කියලා ඒ පන්දු වාර දෙක.

මම මාස අටකින් විතර පන්දු යවලා නැහැ. පුහුණුවීම්වලත් පන්දු යවලා තිබුණේ නැහැ. ඒත් මම කිව්වා ප්‍රශ්නයක් නැහැ මම දාලා දෙන්නම් කියලා.

අපි පුළුවන් තරම් ලසිත් මාලිංගගෙන් සහ ඉසුරු උදානගෙන් එයාව දවාගන්න බලමු කියලත් මම කිව්වා. බැරි වුණොත් 48 සහ 50 යන පන්දු වාර මම දාලා දෙන්නම් කියලා මම කිව්වා. ඔහුටත් එය සහයෝගයක් වුණා. නමුත් මම ටිකක් චකිතයකින් පන්දු යැව්වේ.

මම ක්‍රිකට්වල සියලුම මාදිලියේ තරගවල පන්දු යවලා තියෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවලත් පන්දු යවලා තියෙනවා. මම දැනගෙන හිටියා මේ අවස්ථාවේදී මට පන්දු යවලා දෙයක් කරන්න පුළුවන් කියලා.

මගේ අත්දැකීම් එතනදි වැදගත් වුණා. මට දාන්නම ඕන තැනට පන්දුව දාගන්න පුළුවන් වුණා. පන්දුව කොතනටද දාන්න ඕන කියන අදහස මට තිබුණා. පූරන් ඉතිරි පන්දු වාර තුනත් පන්දුවට පහර දුන්නා නම් තරගයේ කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.

ආබාධයෙන් පසුව අවාසනාවකට මට පන්දු යැවීම ආරම්භ කරන්න බැරි වුණා. පන්දු යැවීමට ශරීරය සුදුසු තත්ත්වයක නොතිබුණු නිසා ලෝක කුසලානයට පෙර හෝ මට පන්දු යැවීම ආරම්භ කරන්න බැරි වුණා. මම ඉතාමත් ඉක්මනට පන්දු යැවීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”.

Read more

Local News