දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වෙලාද ?

Share

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා හා දුම්රිය සමාන්‍යාධිකාරීවරයා අතර මතුව ඇති ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, මෙම ගැටලුව හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ය.

ඒ බව දැනුවත් වීමෙන් පසු තමන් ඊට මැදිහත් වී ගැටලුව නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක එක්දින වැඩ වර්ජනය නීතිමය උපදෙස් මත අත්හිට වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, තම වැටුප් විෂමතා ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කරන බව ය.

මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී වැඩ වර්ජනයක නිරත වීම සම්බන්ධයෙන් ඊට සහභාගී වූ සියලු සේවකයින්ගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව පැවසුවේ, අතිරේක සාමාන්‍යධිකාරී පිරිස් පාලන මගින් ඔවුන්ට මේ සම්බන්ධ ලිපි යොමු කර ඇති බව ය.

එම ලිපි සඳහා ලබා දෙන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් සිදු වන ඉදිරි විමර්ශන සඳහා අවශ්‍යතාව මත නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රියාකරන බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව ය.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ දුම්රිය සේවකයෝ මෙම වැඩ වර්ජනය සිදු කළහ.

Read more

Local News