විග්නේශ්වරන්ගෙන් ජනාධිපතිට චෝදනාවක්

Share

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස‍මයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළ බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

ඔහු පවසන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් අනතුරුව යාපනය පැමිණි අවස්ථාවේ අදාළ ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රදේශය ජනතාව වෙත ලබාදෙන බවට පැවසුවද අදාළ පොරොන්දුව මේ දක්වා ඉටු නොවු බවයි.

වර්තමානයේදී උතුරු පළාත තුළ රජයේ හා පෞද්ගලික ජනතාවගේ ඉඩම් අක්කර 60,000 ක පමණ ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ සතුව පවතින බවද විග්නේශ්වරන් මහතා සදහන් කළේය.

ඊයේ (02) යාපනය,කන්කසන්තුරය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔශු ඒ බව ප්‍රකාශ කළේය.

යාපනය,කන්කසන්තුරය පිහිටි ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ ඉඩම් අක්කර 62 ක් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම වෙනුවෙන් ලබාදීම සම්බන්ධයෙන් අවසන් සාකච්ජාවක් ඊයේ උතුරු පළාත් ආණ්ඩුකාර් සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

කන්කසන්තුරට පිහිටි ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ ඉඩම් අක්කර 62 ක ප්‍රමාණය කලාප හතරක් යටතේ බෙදා වෙන්කොට ඉඩම්වල මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් සාකච්ජාව පැවැත්විණ.

Read more

Local News