තවුහිද් ජමාත් යැයි කියා කප්පම් ඉල්ලු තිදෙනා යළි රිමාන්ඩ්

Share

ජමාත් සංවිධානයේ නියෝජිතයන් බව පවසා දඔලු  නාහිමියන්ගෙන් රුපියල් කෝටි දහයක්  කප්පම් මුදල් ඉල්ලූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි තරුණයන් තිදෙනා ලබන (17) දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (3) දින නියෝග කළේය.

මෙසේ බන්ධනාගාරගත වූයේ දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ පදිංචි එන්.කේ .මිහිඳු ගුණරත්න (33) සීගිරිය පොතාන ප්‍රදේශයේ පදිංචි ඩී.එම්.ඩබ්ලිව් .අතුල ජයසාන්ත දිසානායක (25) සහ දඹුල්ල රත්මල්කඩුව ප්‍රදේශයේ පදිංචි ජී.පි.ජි. චාමර සුසන්න කරුණාරත්න (19) යන තිදෙනා වෙති

ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක රන්ගිරි දඹුල්ල වළගම්බා පිරිවෙන් මැද පන්සලේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල  හිමියන් හට දුරකථනය හරහා තර්ජනය කරමින් රුපියල් කොටි 10ක  කප්පම් මුදල ඉල්ලා ඇති බවට උන්වහන්සේ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වෙත ලබා දුන් තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ බන්ධනාගාර ගතවූ  මිහිදු ගුණරත්න නැමැති ප්‍රධාන සැකකරු නාහිමියන් වැඩ සිටින වලගම්බා පිරිවෙනෙහි මැද පන්සලේ දායක සභාවේ සාමාජිකයකුගේ පුතෙකු බවත් ඔහු පෙර සිටම  වෙහෙර විහාරස්ථාන පන්සල්හි  භික්ෂූන් වහන්සේලා සමඟ සමීප ඇසුරු කළ අයෙකු බව පොලීසිය කියයි.

රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අනිත් පුද්ගලයන් දෙදෙනා ද ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින්   ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල සමඟ ස්වාමින් වහන්සේලා සමඟ ඉතා ළඟින් ඇසුරු කර පුද්ගලයන් බව හඳුනාගෙන තිබේ.

පසුගිය නඩු වාරයේදී මෙම කණ්ඩායමට දුරකථන සිම්කාඩ් පත් ලබා දුන් පුද්ගලයා විසින් සැකකරුවන් හඳුනාගැනීම සිදුවිණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සැකකරුවන් නැවත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News