මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වන්නැයි ඉල්ලූ පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම හෙට

Share

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම හෙට(04) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද(03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පූලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි කරුණු සලකා ලැබීය.

මෙහිදී පෙත්සම්කාර මාලින්ද සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරාන් ඇන්කටෙල් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන්නේ පුද්ගලයකුට පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය, වේලාව සහ ස්ථානය නියම කිරීම පමණක් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් දැමුණු අතර එහිදී රජයේ නීතිඥවරයා විසින් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ(02) දින නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම පෙත්සම හරහා ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇති බව කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියට අනුව මූලික අයිතිවාසිකම් නඩු කටයුතු හැර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක නඩු කටයුත්ත පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම හරහා පෙත්සම්කරු ජනාධිපතිවරයාට එරෙහිව වක්‍රාකාරව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට තැත් කරන බවද පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

පෙත්සම්කරු කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පමණක් තෝරාගෙන එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය යුක්ති සහගත නොවන බවයි.

ඒ අනුව එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News