මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ මාසයේදී අරඹයි

Share

මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ මාසයේදී ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

“දියවර නෑයෝ ” වැඩසටහන යටතේ මහවිලච්චිය ගොවි ජනපදයේ කෘෂි මාර්ග සහ ඇළවේලි නවිකරණය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණ භාවිත කරමින් ක්‍රියාත්මක නවිකරණ වැඩසටහන අරඹමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ සඳහා වාරි මාර්ග අමාත්‍යාංශයේ යන්ත්‍රෝපකරණ 100ක් පමණ භාවිත කරන බවත්, මෙම සති දෙක තුළ කෘෂි මාර්ග නවිකරණය වෙනුවෙන් යන්ත්‍රෝපකරණ ඉන්ධන සඳහා රුපියල් ලක්ෂ 400ක මුදලක් වැය වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ලංකාවේ තෙවන විශාලතම ජලාශය වන මල්වතු ඔය ජලාශය මේ මස 25 වෙනිදාට පෙර ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ හැකි බවත්, ඒ සඳහා රුපියල් කෝටි 3,500ක මුදලක් වැය වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීමත් සමඟ ඒ වෙනුවෙන් අහිමි වන නිවාස වෙනුවෙන් තන්තිරිමලේ ප්‍රදේශයේ නව ගම්මානයක් ඉදිකිරීමට ද තමන් කටයුතු කරන බවත්, තන්තිරිමලේ පුදබිම ආශ්‍රිතව ඉතා දියුණු නගරයක් ජලාශය යටතේ ඉදිකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

උස්සාන ක්‍රම මඟින් තන්තිරිමලේ ඉහළ ජනතාවටත් වගා කටයුතු සඳහා ජලය ලබා දෙන බවත්, ඉඩම් අහිමි වන්නන්ට නව කුඹුරු ඉඩම් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

“දියවර නෑයෝ ”වැඩසටහන යටතේ ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රක්කයේ නුවර වැව, තිසා වැව, හුරුළු වැව, වාහල්කඩ, නාච්චියාදූව ඇතුළු ගොවි ජනපදවල කෘෂිමාර්ග ඉදිරියේදී ‍සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය චන්දරතන නාහිමිපාණන් ප්‍රමුඛ සංඝරත්නයද, උතුරු මැද පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද විලච්චිය ජනපදයේ ගොවීන් රැසක්ද එක්ව සිටියහ.

Read more

Local News