පොලිස්පති සහ හේමසිරි යළි රිමාන්ඩ්

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ජුලි 09 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනිවාර්ය නිවාඩු මත සිටින පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ ඔවුන් රෝහල්ගතව සිටියදිය.

ඔවුන් දෙදෙනා මේ වන විට බන්ධනාගාර නිලධාරින් භාරයේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානි සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බවට විමර්ශනවලින් හෙළි වූ සාක්ෂි මත පොලිස්පති පූජිත් ජයසුන්දර සහ  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය.

අදාළ ලිපිය මගින් නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ බෝම්බ ප්‍රහාර මාලාව මගින් සිදුවූ හානි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනොගේ සාපරාධි නොසැළකිල්ල සහ අධික අපරීක්ෂාකාරීත්වය මත සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු සහ ලේඛනමය සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තාකර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන්නැයි නීතිපතිවරයා වැඩිදුරටත් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණි.

මෙවන් පසුබිමක පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් වූ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබුණි.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේම ජාතික රෝහලේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාවත්, නාරාහේන්පිට පොලිස් රෝහලේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාවත් අත්අඩංගුවට ගනු ලැබුවේය.

Read more

Local News