දැනුම සමග නිරන්තර ව යාවත්කාලීන විය යුතුයි

Share

මොහොතින් මොහොත වෙනස් වන දැනුම සමග නිරන්තර ව යාවත්කාලීන වෙමින්, නව ලොවට පිවිසෙන පුළුල් ඉඩහසර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ද ලබාදීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ටැබ් පරිගණක පාසල් පද්ධතියට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු විධිවිධාන යොදා තිබේ.

මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන් වෙත ටැබ් ලබාදීම සිදුකෙරෙන අතර, ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතිය තුළ සිටින සියලු පාසල් දරුවන්ට සහ සියලු ගුරුවරුන්ට  ටැබ් පරිගණක භාවිත කරමින් අධ්‍යයන කටයුතු කරගෙන යාමේ මෙම සුවිශේෂ අවස්ථාව ලබාදීමට අපේක්ෂිතයි.

නවීන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් ලෝකය සමඟ එක්වීමේ හැකියාව අපේ දරුවන්ට ලබාදිය යුතු බවත්, නව ලොව වෙනස්වීම් සමඟ ඉදිරියට නොගියහොත් අපේ රටේ දරුවන් පසුගාමී වන බවත්, මෙම වැඩපිළිවෙළ හඳුන්වාදීමේ දී විවිධ අය විවිධ චෝදනා තමා වෙත එල්ල කළ අතර, ඒ සියල්ල ඉවසමින්, මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය හඳුන්වාදීමට හැකිවීම  රටේ දරුවන් ලැබූ භාග්‍යයක් බවත්, මේ සම්බන්ධයෙන් අද විවේචන සිදුකරන අය මෙම ඉදිරි පියවර අනාගතයේ දී අවබෝධ කරගනු ඇති බව ද  අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයෙහි ඉතිහාසයේ පළමු වරට මෙරට පාසල් පද්ධතිය වෙත පරිගණක හඳුන්වාදෙන ලද බවත්, ඒ අවස්ථාවේ දී ද පාසල්වල පහසුකම් නංවාලීමට කළ හැකි වෙනත් බොහෝ දේ පෙන්වමින්, විවිධ පිරිස් ඊට විරුද්ධ වූ බවත්, එහෙත් අද වන විට එදා එතුමන් ගත් තීරණය නිවැරදි බව සියලු දෙනා පිළිගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළට මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය  හිමි ව ඇති අතර, එහි පළමු අදියර යටතේ උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත වැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට මේ අනුව කටයුතු යොදා තිබේ.

මෙම ටැබ් පරිගණක සියල්ල උසස් මාදිලියකින් සහ නවීන පිටපත්වලින් (New Version) සමන්විත වන අතර, දරුවන්ගේ සියලු පෙළපොත්, අමතර කියවීම්  පොත්, විභාග ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්නෝත්තර, ඇතුළු අධ්‍යයන කාර්යයේ දී සිසුන්ට සහ ගුරුවරුන්ට අවශ්‍ය වන සියලු දැනුම සහ තොරතුරු ඉදිරියේ දී  ටැබ් පරිගණකය තුළින් ලබාදෙන බවත්, ගුරුවරයා යම්හෙයකින් පාසල් නොපැමිණි දිනක වුව ද දරුවන්ට අපහසුවකින් තොරව අධ්‍යයන කටයුතු කරගෙන යාමට මගපෙන්වීමක් ලබාදෙන්නට ටැබ් පරිගණක හරහා හැකියාව ලැබෙන බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ටැබ් පරිගණක පරිහරණය තුළින් කිසිදු අයුරකින් දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට ගැටළු ඇති නොවීමට කටයුතු යොදන බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read more

Local News