ඉදිරි දශකයේදී පොදු ප‍්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් කරනවා

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ දිගු කාලීන අපේක්ෂාවක සාධනීය පියවරක් තබමින් හා පොදු ප‍්‍රවාහන සේවයට නවමු අත්දැකීමක් එක් කරමින්, ජපන් ජනරජයේ මිත‍්‍රශීලී මූල්‍යාධාර යටතේ ඉදිකිරීමට අපේක්ෂිත මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය සේවා සංක‍්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කර තිබේ.

ඒ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදීය.

එහිදී අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අද අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී දවසක්. මේ රටට දුම්රිය සේවය වසර 100 කටත් ඔබ්බෙන් හඳුන්වාදීමෙන් පසුව මේ ඇතිවන වෙනස මේ රටේ පොදු ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවීය පරිවර්ථනයක් ඊළඟ දශකයේදී සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා.

විශේෂයෙන්ම මේ රට අධික ජන ගහන ඝනත්වයෙන් යුතු රටක්. මේ රටේ තවදුරටත් පෞද්ගලික රථවාහනවලට ඉඩ දීමෙන් රට අඟලක්වත් ඉදිරියට ගෙනයන්න බැහැ.

මොකද මාර්ග තදබදය විසින් විශාල සමාජ පීඩනයක් සහ බරපතළ ආර්ථික පීඩනයක් අද වන විට එල්ල කර තිබෙන නිසා.

ඒනිසා මේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් ලබා දීලා රටේ ප‍්‍රවාහන කෙෂ්ත‍්‍රය දියුණු කිරීමට තවදුරටත් නොහැකි බව අප සියලු දෙනාම අවබෝධ කර ගත යුතුයි.

ඒ නිසා පසුගිය දශක එකහාමාරක පමණ කාලය තුළ රජයේ ප‍්‍රාග්ධන වියදම්වලින් 40% කට වැඩි ප‍්‍රමාණයක් වැය උනේ පෞද්ගලික ප‍්‍රවාහනය ඉදිරියට ගෙනයාම සඳහායි.

මෙතැන් සිට ඇතිකරන මේ ව්‍යාපෘතිය මගින් විප්ලවකාරී ඉදිරි පියවරක් තබනවා ඇති.

එහිදී විශේෂයෙන්ම දුම්රිය සේවය, බස් නවීකරණය, බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම, පවතින දුම්රිය නවීකරණය වැනි ව්‍යාපෘති මඟින් ඉදිරි දශකයේදී රටේ පොදු ප‍්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් තලයකට එසවී තැබෙනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා.

බොහෝ දෙනෙක් මේවා පිළිබඳව සැකමුසු තැන් ඇතිකළා. රටේ ව්‍යාපෘතියක් ඇති කරන්නට දශක ගාණනක් වැය වෙනවා.

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ පුරෝගාමියා වූ 1936 දී විමල සුරේන්ද්‍ර මැතිතුමා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් වූ පළමු අවස්ථාවේදී එතුමා යෝජනා කළා අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා විදුලි දුම්රිය ගෙන එන්න.

ඒ සඳහා තමයි ලක්ෂපාන ප‍්‍රධාන විදුලිබල මධ්‍යස්ථානය අවිස්සාවේල්ලේ ඉදිකළේ. දැන් වසර 100 කට ආසන්න වෙලා තිබෙනවා අපට එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව තිබෙන තත්වයක් අද වෙනකන් ඇවිත් තිබෙනවා.

නමුත් මේ සිදුවීමත් යෝජිත දුම්රිය නවීකරණ ව්‍යාපෘතියත්, කැළණිවැලි දුම්රිය සහ අනෙකුත් දුම්රිය සේවාවල ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ විප්ලවකාරී පරිවර්ථනයක් සිදුවෙයි කියා අපි විශ්වාස කරනවා.

ඒ වගේම මැනිං වෙළෙඳපල කොළඹ දුම්රිය ස්ථානය අසලින් ලබන වසරේදී ඉවත් කරනවා. ඒ වගේම  ප‍්‍රංශ රජයේ ආධාරයෙන් කොටුව දුම්රිය ස්ථානයත් බස් නැවතුමත් එකට ගෙනයන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සැලසුම් කර අවසන් කර තිබෙනවා.

අපි බලාපොරොත්තුවෙනවා ලබන වසරේදී එහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වටපිටාව ලබාදෙයි කියලා.

මේ රටේ ව්‍යාපෘතියක් කරගෙන යාමට ඉතාම විශාල කාලයක් අවශ්‍ය වෙනවා. පසුගිය කාලයේ මේ රටේ සිදු වූ ව්‍යාපෘති බොහොමයක් ඊට දශක ගණනකට පෙර සැළසුම් කොට සිදු කිරීමට අවශ්‍ය කරන ප‍්‍රතිපාදන සකස් කර තිබූ දේවල්.

අපේ රටේ මහවැලි ව්‍යාපාරය එක්දහස් නමසිය පනස් ගණන්වල සැලසුම් කළ දෙයක්, අධිවේගී මාර්ග පද්ධතිය එක්දහස් නමසිය හැට ගණන්වල සැලසුම් කළ දෙයක්. ඒවා දැන් තමයි ක‍්‍රමයෙන් යතාර්ථයක් බවට පත් වෙන්නේ.

නමුත් මේ ව්‍යාපෘතිය අපි ඉතා ආඩම්බරයෙන් කියනවා 2016 දී ආරම්භ කරලා 2019 වන විට සියලූම අධ්‍යනයන් අවසන් කරලා මෙය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරන තත්වයකට පත්වුණා.

අපි 2024-25 වන විට අලූත් රටක් ගොඩනගා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ දුම්රිය පද්ධතිය එනවාය කියන විශ්වාසය නිසා පසුගිය වසරේ බත්තරමුල්ල සහ අවට ප‍්‍රදේශවල ඉඩම් මිල ගණන් 129%කින් වැඩි වූ බව ප‍්‍රකාශ කළ යුතුයි.

මේ ඒනිසා මෙයින් දැනටමත් මේ ආයෝජනය නිසා සැලකිය යුතු ප‍්‍රතිලාභයක් අපේ ජනතාවට මේ වන විටත් ඉඩම් හිමියන් සහ අනෙකුත් අයට ලැබී අවසන්.

ඔවුනට යුක්ති සහගත වන්දි ගෙවීම් ක‍්‍රමයක් සමග මේ කටයුත්ත අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.“

Read more

Local News