ශනිල් නෙත්තිකුමාරට අධිචෝදනා ගොනුකරයි

Share

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සාක්ෂියක් ලබා දුන් අනිකා විජේසූරිය නැමැත්තියගේ සහෝදරයා වන ජයන්ත විජේසූරිය නමැත්තාට තර්ජනය කළේ යැයි කියන සිද්ධියේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ශනිල් නෙත්තිකුමාර නැමැත්තාට අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකරු වෙත භාර දීම සිදු විය.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවට නියෝග කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් සාක්ෂිකාරියකගේ සහෝදරයකුට තර්ජනය කිරීමට අදාලව මෙම නඩුව ගොනු කර ඇති බවත් මෙම සිද්ධියේ බරපතළ භාවය සැලකිල්ලට ගෙන මෙලෙස මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීන්දු කළ බව ද සඳහන් කළේය.

මෙම නඩුව නැවත අගෝස්තු මස 09 වන දා කැඳවන මෙන් ද මහාධිකරණය නියම කළේය.

Read more

Local News