GMOA දේශපාලනඥයින් පිටුපස යන සංගමයක්

Share

2019 වසරේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, එක්සත් ජාතික පෙරමුණ දැනට සමාජයේ කථාබහට ලක්වන අපේක්ෂකයින්ගෙන් ජයග්‍රාහි අපේක්ෂකයා මැතිවරණයට ඉදිරිපත් කිරීමටත්, ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සුදානම් බවත්, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීම සඳහා අද (04) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවැසීය.

මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් සමඟ සෞඛ්‍ය සේවාවට තමන් කළ මෙහෙවර පිළිබදව කරුණු දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඕනෑම බලපෑමකට බිය නොවී දුප්පත් ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කරන බව අවධාරණය කර සිටියේය.

එහිදී මහනාහිමියන් ප්‍රකාශ කළේ බලපෑම්වලට යටත් නොවී නොසැලෙන ගුණයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාව නංවාලීමට ගන්නා ක්‍රියාමාර්ග අගය කරන බවයි.

මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.

මට එරෙහිව චෝදනා කරමින් සකස් කළ චෝදනා පත්‍රයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට ලබාදෙනවා.

දේශපාලනඥයින් පිටුපස යන සංගමයක් බවට ඔවුන් පත්ව තිබෙනවා. මමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 14 ක් පුරා වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරත වුවත්, දේශපාලනඥයින් පිටුපස යන තත්ත්වයක් අපට තිබුනේ නැහැ.

අපි දේශපාලනඥයින් සමඟ මිත්‍රශීලීව වැඩ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළා.

නමුත් වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන සංගමයක් ලෙසත්, ත්‍රස්තවාදීන් මෙන් කටයුතු කරන බවත්, මම කියන්න කැමැතියි.

මෙමඟින් සිදු වන්නේ අහිංසක රෝගීන් අපහසුතාවයට පත්වීමයි. වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවූවා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තවත් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.

ඉල්ලීම් ඉටු කළා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම සියලු වරප්‍රසාද ලබාගනිමින් කීර්තිමත් සංගමයක් අවභාවිතයට ලක් කරමින් දේශපාලන ව්‍යාපාරයක නිරත වෙනවා.

අද ඔවුන් වෘත්තීය ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ. එම සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රසිද්ධියේ විහාරාධිපති හිමිනමකට බනිනවා. ඊට ගම්වාසීන් විරෝධය පළ කරනවා.

මාධ්‍ය හමුවේ මෙම වෛද්‍යවරයා හාමුදුරුවන්ට කථා කරන්නේ පහත් භාෂාවෙන්. මෙවැනි වෛද්‍යවරුන් සංගමයට සුදුසු ද, ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් රෝහල් භූමිය සටන් බිමක් බවට පත් කරගෙන හරියට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වගේ.

එම වෛද්‍යවරුන් පෝස්ටර් ඇලවීමට, විරෝධතා පැවැත්වීමට තමයි කටයුතු කරන්නේ. යහපාලන රජය ලබාදුන් නිදහස වැරදි විදිහට භුක්ති විදිනවා.

මහනුවර මහ රෝහල දෙවන ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඊට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශය මම ඉදිරිපත් කර තිබෙනවා.

මෙම රෝහලේ අක්කර 57 ක් වූ භූමිභාගයෙන් ඉඩම් බහුතරයක් ව්‍යාපාරිකයින් අල්ලාගෙන තිබුනා. මේ වනවිට රෝහල් අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමෙන් අක්කර 12 ක් නිදහස් කරගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා ව්‍යාපාරිකයින් සමග ගැටී ඉඩම් ටික ලබාගැනීමට කළ කැපවීම අගය කරනවා.”

Read more

Local News