දුම්රිය බලධාරින් අතර සාකච්ඡා

Share

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ රාජකාරි කටයුතුවලට ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් විසින් බලපෑම් සිදු කිරිමේ සිද්ධියකට විරෝධය පල කරමින් දුම්රිය වෘත්තිය සමිති ආරම්භකළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

දුම්රිය සේවාවට අයත් 60කට අධික  සියලු වෘත්තිය සමිති ඊයේ(03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනයේ නිරත වෙනු ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ රාජකාරීවලට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුකරන බවට චෝදනා කරමින් සියලුම ශ්‍රේණිගත දුම්රිය වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂවලට අනුබද්ධ දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් දිවයිනේ සියලු දුම්රිය ස්ථාන අද උදෑසන සිට පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර කිසිදු දුම්රියක් ධාවනය නොවිය.

කෙසේ වෙතත් දුම්රිය මගීන් චෝදනා කරන්නේ දිගින් දිගටම සිදුවන දුම්රිය සේවක වර්ජන හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

බීමත් සේවකයෙකුට විනය පියවර ගැනීම සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් එල්ල වී ඇති බවට චෝදනා කරමින් දුම්රිය වෘත්තිය සමිති මෙලෙස වැඩ වර්ජනයේ නිරත වෙයි.

ඔවුන් පවසන්නේ වැඩතහනමට ලක් කර ඇති අදාල සේවකයා යළි රාජකාරි කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කර ඇති බවයි.

මේ අතර දුම්රිය වෘතීය සමිති ක්‍රියාත්මක කර ඇති වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහත්වරුන්ගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී  ඩිලන්ත ප්‍රනාන්දු මහතා අතර සාක්චඡාවක් අද(04) පෙරවරුවේ පැවත්විය.

එම සාකච්ඡාව පෙරවරු 11.30ට පමණ අවසන් වූ අතර ප්‍රවාහන අමාත්යචවරයා අද දහවල් වෘත්තිය සමිති නියෝජිතයින් ද සාකච්ඡාවක් සදහා කැඳවා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද පස්වරු 02.00ට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද  පැවැත්විමට නියමිතයි.

කෙසේවෙතත් වර්ජනයට හේතු වූ දුම්රිය සේවකයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read more

Local News