අධ්‍යාපනය නවීකරණයට ලක්කරන බව අගමැති කියයි

Share

21 වන ශත වර්ෂයේ අභියෝගයන් ජයගත හැකි, එම ශත වර්ශයේ තාක්‍ෂණයට මුහුණ දිය හැකි හා ඒ ශතවර්ෂයට සරිලන පරිදි ජීවත් විය හැකි පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය නවීකරණයට ලක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තාක්‍ෂණ දැනුමෙන් හා අධ්‍යාපනයෙන් පරිපූර්ණ දකුණු ආසියාවේ හොඳම පාසල් ක්‍රමය මෙරට ඇති කිරීමට කැප වන බවත්, එවැනි අලූත් දැනුමක් නොමැතිව ඉදිරියට යා නොහැකි බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහනේ දෙවන අදියර යටතේ ඉදි කළ පාසල් 250 ක් විවෘත කිරීම නිමිත්තෙන් පේරාදෙනිය, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැති ජාතික උත්සවය අමතමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පේරාදෙනිය, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශ්‍රවණාගාරය සහ සුහුරු පන්ති කාමරය විවෘත කරනු ලැබීය.

උත්සව සභාවෙන් අනතුරුව ගුරු මධ්‍යස්ථාන හා විද්‍යා පිඨවලට අවශ්‍ය ලැප්ටොප් පරිගණක ඇතුලූ උපකරණ පරිත්‍යාග කිරීම ද සිදු කරන ලදී.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ අධ්‍යාපනයයි. මා පාර්ලිමේන්තුවට පැමිණි කාලයේ මේ බව මට ඉගැන්වූයේ අබ්දුල් හලීම් ඇමතිතුමාගේ මාමා වන ඒ. සී. එස්. හමීඩ් මැතිතුමායි. අධ්‍යාපනයට මුදල් වෙන් කරමින් අධ්‍යාපනය සංවර්ධන කළ යුතු බව එතුමා මට පැවසුවා. රටක් දියුණු වන්නේ ඒ අනුව බවයි එතුමා එදා ප්‍රකාශ කළේ.

අද අපි නොදකින තවත් වසර 20 කින් ඇති වන නව තාක්ෂණය භාවිත කළ හැකි, 21 වන ශත වර්ෂයට ගැලපෙන පරපුරක් අපි නිර්මාණය කළ යුතුයි.

අලූත් පරපුරක් සහ අලූත් ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරගත යුතුයි. නව පරපුරක් හෝ නව දැනුමක් නොමැති නම් තාක්ෂණය සමඟ ඉදිරියට නොයනවා නම් අලූත් ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමෙන් පළක් නැහැ.

එම නිසා අප මේ සිදුකරමින් සිටින්නේ අධ්‍යාපනය නවීකරණය කිරීමේ පළමු වැඩ කොටස බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අපේ ආණ්ඩුව යටතේ පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා. පාසල් ගොඩනැගිලි සහ අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා. ගුරුවරුන්ට පුහුණුව ලබාදීම, පාසල් සුපරීක්‍ෂණය කිරීම ආදියෙහි වගකීමත් අපේ රජය විසින් ඉටුකරමින්  සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් මැතිතුමා පත්කිරීමෙන් පසුව රටේ සෑම තැනකම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන දියුණුව අපට පෙනෙනවා.

ඒ වෙනුවෙන් අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශයේ සියලූම කාර්ය මණ්ඩලයට ස්තුති වන්ත වෙනවා.

පේරාදෙණිය අධ්‍යාපන විද්‍යා පීඨය ආරම්භ කිරීමෙන් පසුව නැවත මෙහි එන්නට මට අවස්ථාව ලැබුණේ අද යි. අද වන විට මෙම ස්ථානයේ ගොඩනැගිලි සංඛ්‍යාව වැඩි වී තිබෙන බව පෙනෙනවා. එකල පුහුණු විද්‍යාලයක්ව පැවති මෙය, විද්‍යා පීඨයක් බවට පත්කිරීමට අපි කටයුතු කළා.

පේරාදෙණිය සහ මහවැලි විද්‍යා පීඨය යන ආයතන දෙකම මම එදා නුවර ආරම්භ කළා. මෙම විද්‍යා පීඨ හරහා ගුරුවරුන් අධ්‍යාපනය ලබා පිටවී ගොස් තිබෙනවා.

ඒ වගේම මේ තුලින් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුවී තිබෙනවා.” යැයි  ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ, අනාගතයට පිය නැගීමට දරුවන්ට අවශ්‍ය වීසා එක වන්නේ අධ්‍යාපනය බවත්, ඒ සඳහා අවශ්‍ය සියලූ පහසුකම් ආණ්ඩුව විසින් ලබා දෙන බවත් ය.

අනාගත චලනයන්ට අවශ්‍ය වෙනස්කම් අප හඳුනා ගනිමින්, පසුගාමී නොවී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට හැකි වන්නේ ගනු ලබන නිවැරදි තීන්දු තීරණ මත බවත්, වර්තමානයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින සියලූම ගැටලූවලට විසඳුම් ලබාදීම අරමුණු කර ගෙන ඉදිරියේ දී නව අධ්‍යාපන පනත ගෙන ඒමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ඉතිහාසයේ කිසිඳු ආණ්ඩුවක් සිදු නොකළ වැඩ කොටසක් වත්මන් ආණ්ඩුව සිදු කර තිබෙන බවත්, එහි එක් පියවරක් ලෙස  “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහන යටතේ මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් ගොඩනැගිලි 200 ක් සිසුගත කළ අතර අද එහි දෙවැනි පියවර වශයෙන් තවත් පාසල් ගොඩනැගිලි 250 ක් සිසුගත කෙරෙන බව ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්. එම්.එන්. රණසිංහ, විභාග කොමසාරිස් ඩී. සනත් පූජිත යන මහත්ම මහත්මීහු ද, විද්‍යා පීඨාධිපතිවරු ද, දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීහු ඇතුලූ විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

Read more

Local News