කිසිම රටකට ලංකාවේ කඳවුරු හදන්න දෙන්නේ නෑ

Share

ඇමරිකා ඒක්සත් ජනපදයේ යුද හමුදාවට මෙරට තුළට පැමිණීමටත් මෙරට තුල කඳවුරු බැඳීමටත් හැකි වන පරිදි ගිවිසුමකට එළැඹී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය හා ඇතැම් පිරිස් විසින් රජයට එල්ල කරනු ලබන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනමාධ්‍ය අමාත්‍ය (කැබිනට් නොවන) සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

මේ පිළිබඳව තමා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කර ඇති බවත් , තම රජය ඇමරිකා එක්සත් ජනපද රජය සමඟ ගිවිසුම්ක් අත්සන් කර නොමැති බවත් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට කිසිසේත්ම සුදානම් නැති බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද , ඇමරිකානු එක්සත් ජනරජයේ රජයට පමණක් නොව වෙනත් කිසිඳු රටකට මෙරට තුළ කඳවුරු බැදීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑමක් වන හා අවාසිදායක වන ගිවිසුම් අත්සන් කිරීමට මෙම රජය කිසිසේත්ම සුදානම් නොමැති බවද සඳහන් කළ අමාත්‍යවරයා කිසියම් ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් විසින් කරනු ලබන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

තවද , ශ්‍රී ලංකාව සමඟ මෙවැනි ගිවිසුමකට ඇමරිකා එක්සත් ජනපද රජය එළැඹී නැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය විසින් ද ප්‍රකාශයක් කර ඇති බව අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කරයි.

Read more

Local News