ලසිත් මාලිංග ලෝක කුසලාන පිටියට සමුදෙයි

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉන්දියාව කඩුලු 7 කින් ජය ගත්තේ ය.

එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 264 කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 55 කදී බිඳ වැටුණි.

ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක් වූ ලහිරු තිරිමාන්න 5 වැනි කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 124 කි.

ලහිරු තිරිමාන්න ලකුණු 53 යි.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 113 ක් රැස් කළේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර තිබේ.

රොහිත් ෂර්මා එක්දින පිටියේ 27 වන ශතකය වාර්තා කළ අතර එය ඔහු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා කළ 5 වන ශතකයි.

ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියක් තුළදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙස ද ඔහු වාර්තා අතරට එක් විය.

ශර්මා සහ ලෝකේෂ් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 189 ක්.

එම ලකුණු සබඳතාව මෙවර ලෝක කුසලනා ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් දෙදෙනෙකු පළමු කඩුල්ලට රැස් කළ ඉහළම ලකුණු සබඳතාවයි.

ශර්මා ලකුණු 103 කට දැවී ගියේ ය.

මෙම තරගය ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක සහභාගි වූ අවසන් තරගයයි.

ලකුණු 111 ක් රැස් කර ගෙන සිටි ලෝකේෂ් රාහුල් දවා ගැනීමත් සමග ලසිත් මාලිංග ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තෙවැනි වැඩිම කඩුලුලාභියා බවට පත් විය.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය දකුණු අප්‍රිකාව ලකුණු 10 කින් ජය ගෙන තිබේ.

මැන්චෙස්ටර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 325 ක් රැස් කළේ ය.

එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 315 ක් පමණි.

Read more

Local News