යල කන්නයේ වී අස්වනු නෙලීමේ මංගල්‍යය මඩකලපුවෙන් ඇරඹේ

Share

යල කන්නයේ නැඟෙනහිර පළාතේ අස්වනු නෙළීමේ මංගල්‍යය කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව වාහනේරි ව්‍යාපෘතියෙන් අද(08) ආරම්භ කෙරිණි.

වාහනේරි ව්‍යාපාරය යටතේ මෙවර කුඹුරු අක්කර අටදාස් පන්සියයක් පැසී ඇත. වට්ටිපොට්ටමඩු කුඹුරු යායෙහි වී අස්වැන්න නෙලීමෙන් අනතුරුව සෙම්පයාඩි කෝවිලට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ වත් පිළිවෙත ද මෙම අවස්ථාවේ සිදු විය.

එහිදී පැමිණ සිටි ගොවීන් ඇමතු කෘෂිකර්ම අමාත්‍යවරයා,

“අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා මට මඩකලපුවේ ගොයම් කපන්න එන්න කියලා. ඒ නිසා මට ලෑස්ති වෙලා ආවේ ලියද්දක විතර ගොයම් කපන්න.

ගොයම් කපන්න විතරක් නෙවෙයි කුඹුරේ කරන ඕන වැඩක් කරන්න මට පුළුවන්. තාත්තා ගොවියෙක් නිසා මං මේ හැමදේම පුරුදුවෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමන්ලා විදින ගැහැට ගැන මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මං වැඩ භාරගෙන ටික කාලයයි. ඉදිරියේදී වී මිල වැඩි කරනවා. අවුරුදු 4කින් වී මිල වැඩිවෙලා නැහැ. ඒ වුණාට අනිත් හැමදෙයකම මිල වැඩිවුණා.

ඒ නිසා ඔබතුමන්ලාට අසාධාරණයක් වුණා. ඊට සාධාරණය ඉටු කරන්න අපි ලබන කන්නයේ ඉඳන් වී මිල වැඩි කරනවා.

මෙතන කුඹුරු අක්කර 8000ක් විතර තියෙනවා. එතකොට වී ටික ගබඩා කරගන්න තැනක් නැහැ. මෙතන තියෙන පරණ අබලන් ගබඩාව වෙනුවට නව ගබඩාවක් හදලා දෙන්න අපි කටයුතු කරනවා.

මෙවැනි ව්‍යාපෘතියක පාරවල් සහ ඇළවේලී හදන්න වෙනම ව්‍යාපෘතියක් සකස් කරන්න ඕන. ඒක මේ අමාත්‍යාංශයෙන් දෙන පොඩි මුදලකින් කරන්න බැහැ.

අපේ කථානායකතුමා දැනටමත් ප්‍රංශ සහ ජර්මන් රජය සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ලංකාවේ තියෙන මහා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන්න, වෙනම ව්‍යාපෘතියක් සකස් කරන්න කියලා. අපි හිතනවා ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා.

එහෙම වුණොත් මඩකලපුවෙන් අපි ඉස්සෙල්ලම තෝරගන්නේ මේ ව්‍යාපෘතිය. ඒ වගේම අපේ හිටපු අමාත්‍ය මුරලිදරන් මැතිතුමා කිව්වා, මියන්කල්ලන්කුලම් කිතුල්වැව ඌරනියාව වැව එකතුකරලා වැඩ පටගන්න කියලා.

ලබන අවුරුද්දේ ඒ වැඩකටයුත්ත පටන් ගන්නවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මැතිතුමා මෙතනට ආවේ නැතත් එතුමාගේ ලොකු ඉල්ලීමක් තියෙනවා විල්ලමඩු ව්‍යාපෘතිය සකස් කරලා දෙන්න කියලා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News