ගම්පහ මහරෝහලේ කාර්යය මණ්ඩලය විරෝධතාවක

Share

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පරිපාලනයට චෝදනා එල්ල කරමින් හෙද සංගම් ඇතුළු අංශ හතක පමණ කාර්ය මණ්ඩලය අද (8) දහවල් පැයක පමණ කාලයක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.

රෝහලෙහි පොදු රථගාල වෛද්‍යවරුන් සදහා පමණක් වෙන් කොට තිබීම , හෙද පරිපාලනයට අනිසි ලෙස මැදිහත්වීම , රෝහල් පරිපාලනය වෛද්‍ය නිලධාරි සංගමයට අනුව කටයුතු කිරීම සහ එක් එක් අංශයට වෙනස් ආකාරයෙන් සැලකීම නතර කිරීම යන්න වෙනුවෙන් මෙම උද්ඝෝෂණය පවත්වන බව රජයේ හෙද සංගමයේ ගම්පහ රෝහල් ශාඛා ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය සඳහන් කළාය.

හදිසි ප්‍රතිකාර සේවාවන්ට බාධාවක් නොවන සේ හෙද සේවා,විකිරණ තාක්ෂණවේදී, ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදී ඇතුළු අංශ හතක පමණ කාර්ය මණ්ඩලයේ පිරිසක් මීට එක්ව සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, රෝහලෙහි සියලුම කටයුතු සැමට සාධාරණව සිදු කෙරෙන අතර පොදු රථගාල වෛද්‍යවරුන් ඇතුලු සෑම අංශයකම හදිසි ඇමතුම් සදහා පැමිණෙන කාර්ය මණ්ඩලය සදහාද, අන් අය සදහා රෝහල් භූමියෙහි වෙනත් ස්ථාන ලබාදීම සිදු කොට ඇති බවත්ය.

මෙය රෝහලෙහි සෑම අංශයකම නියෝජිතයින් සමග සාකච්ඡා කොට ගත් තීරණයක් බව පැවසූ අධ්‍යක්ෂ වරයා කිසිවිටෙක තමන් තනි තීරණය මත ක්‍රියා නොකරන අතර වෛද්‍ය සංගමයට අනුව කටයුතු කිරීම යන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද කීය.

Read more

Local News